මට අහිමි නුඹ නමට


සරසවි නිවාඩුව හම්බුන ගමන්ම මම වෙනදා වගේම ඉක්මනට ගෙදර දුවගෙන ආවා. මේ පුරුදු ගහකොළ, ඇළ දොළ, වැව් පොකුණු මේ හැම දෙයක්ම මගේ හිතට අමුතුම සතුටක් අරගෙන එනවා. ඒ හින්දා විතරක්ම නෙමෙයි මම දුවගෙන ආවේ. හිතේ කොනක තව පුංචි බලාපොරොත්තුවක් තිබුණා. ඒ තමයි එක තත්පරයකට හරි ඔයාගේ ඔය ආඩම්බර මුහුණ දකින එක. ඒ පුංචි පැතුමත් හිතේ තියාගෙනම මම පහුවදාම ගියා අපිට අපිව මුණ ගස්සපු ඒ නගරෙට. බස් නැවතුම්පොළට අඩිය තියනකොටම මට මොකක්දෝ නුපුරුදු පාළුවක් තනිකමක් දැනුණා. මම දන්නෙ නෑ ඒ ඇයි කියලා. මේ ටික කාලෙට මේ නගරෙ කොච්චර වෙනස් වෙලාද කියලා මම මොහොතක් කල්පනා කළා. නගරෙ එක කෙළවරක ලස්සන උද්‍යානයකුත් හදලා. මම තවත් ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියා. අන්න එතකොට මට පුරුදු රුවක් ඈතින් ඇදෙනවා මම දැක්කා. ටිකෙන් ටික ඒ රුව මගේ ළඟටම ආවා. දැක්ක දෙයින් ඇස් අදහගන්න බැරුව මම ගල් ගැහිලා බලාගෙන හිටියා. ඔව් ඒ ඔහුම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ  අද ඔහු ආවේ තනියම නෙමෙයි. මට පිටුපාලා ඇදෙන ඒ ආදරණීය යුවළ දිහා කඳුළු පිරිච්ච ඇස්වලින් මම මොහොතක් බලාගෙන හිටියා. ජීවිතයේ සමහර අවස්ථා අපිව අන්ත අසරණ කරනවා. තවත් ඒ ඇස් දිහා බලන් ඉන්න තරම් හයියක් මට තිබුනේ නෑ.

නංගි මොකද මෙතන කරන්නේ? කවද්ද ඔයා ගෙදර ආවේ? හුඟ කාලෙකට පස්සෙනේ ඔයාව දැක්කේ. දෙයියනේ මේ මොකද? ඔයා අඩනවද?

අපේ ගෙදරට ගෙවල් දෙක තුනකට එහායින් පදිංචිවෙලා ඉන්න සඳුනි අක්කා මං ළඟටම ඇවිත්. එයා එනවා මම දැක්කෙවත් නෑ. ඒත් හැමදාම වගේ එයා මාත් එක්ක දුක සැප බෙදා ගත්තා. සමහරවිට එයාට මගේ වෙනස දැනෙන්න ඇති.

නෑ අක්කෙ. මුකුත් නෑ. ඇහැට රොඩ්ඩක් ගියා. මං මේ බලන් හිටියෙ පාක් එක දිහා. ඒක හරි ලස්සනට හදල නේද?

ආ ඔව් නංගි. අපි එමුකො නිදහස් වෙලාවක. ඒක නෙමෙයි. දැන් ඔයා ගෙදර යනවා නේද? යං එහෙනම් අපි දෙන්නම.

ගෙදර ආවෙ කොහොමද කියලාවත් මට හරියට මතක නෑ. ඊට පස්සෙ මම කඳුළු වේලෙනකන්ම නෑවා. ගෙදර අයට මගේ කිසිම වෙනසක් නොපෙන්වා ඉන්න මම ගොඩක් පරිස්සම් වුනා. මොකද එයාලා මම වෙනුවෙන් ඕනෙවටත් වඩා දුක් විඳිනවා. ඉතින් මගේ හිතේ තියෙන දුකත් එක්කම මම මගේ කාමරේ පුංචි මේසෙ ඉස්සරහා වාඩිවුණා. මටත් නොදැනිම මේ කවිය ලියවිලා තිබ්බා. කඳුළු වැටිලාම අකුරු නම් හොයන්න බැරි තරම් බොඳවෙලා. කොහොම වුණත් සැබෑ ආදරේ කියන්නෙ අයිති කරගැනීමම නෙමෙයි කියන එක මං මගේ හිතට ගොඩක් පාරක් තේරුම් කරලා දුන්නා. අපි ආදරය කරන මිනිස්සු මේ ලෝකෙ කොහේ හරි කවුරු හරි එක්ක සතුටින් ඉන්නවනම් අපිට පුළුවන් වෙන්න ඕන ඒ දිහා බලලා සතුටු වෙන්න. ඉතින් ගෙවෙන හැම දවසකම ඔයාට සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

සසර පුරාවටම ඔබ මට හිමිනොවුණද

දනිමි ඔබ නතර වූ තැන සතුටින් වග

විටෙක සුසුම්ලන විටෙක ඉකිබිඳින හදවතට

තදින්ම කියාසිටිමි තවදුරටත් ඔබ මගේ නොවන වග

කදුළු කැට සෙමෙන් පිසදාන

සිනාසෙමි හදවතින්ම

සැබෑ ආදරය යනු අයිතිකරගැනීමම නොවන වග

ලියාතබමි හදවතේ ගැඹුරුම තැන

නිමාවක් නොවන ඇරඹුමක් ලබාදී

මගෙන් නික්ම ගිය ආදරණීය හිතවත

සුභ පතමි සතුට පමණක්ම ඔබ ළඟ රැඳෙන්නට

තෙත් වූ පිටු අතර අසීරුවෙන් ලියාතබමි

තවදුරටත් ඔබේ නමට කවි නොලියවෙන බව ...

 

ගායනා නිර්මාණි හේරත්.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

Comments

  1. ලස්සනයි ❤️

    ReplyDelete
  2. ඇත්තම කතාවක් වගේ. ලස්සනයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අහිමි සිහිනය

අටවෙනි ස්වරය නුඹද?