විදුබිමේ මතක



මම සරසවියෙ පාරවල් දිගේ තනියම ඔහේ ඇවිදන් ගියා. මට ඕන වුනේ මගේ හිත ටිකක් සැහැල්ලු කරගන්න. මිහිදුතලෙයෙන් හමා එන සීතල සුළං රැළි හැමදාමත් වගේ මගේ සිතට ගතට අමුතු සනීපයක් ගෙනාවා. පහුගිය ටිකේම වැඩ ගොඩක හිරවෙලා හිටිය නිසා මේ සොබාදහම විඳින එක මට කල් දාන්න සිද්ධ වුණා. හැම තැනම පාට පාට මල් පිපිලා. මල් පාර දිගේ අත්වැල් පටලාගෙන එන ආදරණීය පෙම්වතුන් යුවළක් හදිසියේම මගේ නෙත ගැටුනා. ඇත්තටම ආදරේ කියන්නේ පුදුමාකාර හැඟීමක්. ඒක හරියටම අර්ථදක්වන්නෙ කොහොමද කියලා මම තාමත් හිතනවා. ඒ පෙම්වතුන් යුවළ දකිද්දිම මට මතක් උනේ ඔයාව. ඔයා ගැන ගොඩක්ම මතක පිරිලා තිබ්බේ පාසල් කාලය කියන ජීවිතේ ලස්සනම පරිච්ඡේදයේ. ඔයාව දැකපු මුල්ම දවසෙදිම මට මොකක්දෝ පුරුදු හැඟීමක් දැනුනා. හැබැයි ඒ දවස්වල අපි යාලුවෝ විතරයි. ඒත් යාළුකමකට එහා ගියපු ආදරයකට මෙහා නැවතුණු නමක් නොමැති හිතවත්කමක් අපි අතර තිබ්බා. ඒ හිතවත්කමට නමක් දෙන්න අපි ලොකු කාලයක් ගත්තා. අපේ ආදරණීයම මතක ඒ විදිහටම පරිස්සමට ඇති. අපි එදා ඇවිදපු පුංචි පාරවල් තාමත් අපි එනකන් සමහරවිට බලන් ඉන්නවා ඇති. අපිට අපිව මගහැරුණු බව අපේ ජීවිතයේ සොඳුරුම කාලය ගෙවුණු ඒ ආදරණීය විදුබිම තාම දන්නේ නැතිව ඇති. ඒත් ඔයා ගැන මගේ හිතේ තිබුණු හැඟීම හරි පරිස්සමට මගෙ ගාව තියෙනවා. සරසවියෙ මට මුණගැහෙන දාහක් මුහුණු අතර කොතැනකදිවත් ඔයාව මට මුණගැහෙන්නේ නෑ කියලා මම දන්නවා. මොකද අද අපි සරසවි දෙකක ජීවිතය හොයනවා. ඒත් අදත් ඉඳහිට පරණ පුරුදු ඉස්කෝලෙ ළඟින් යද්දී ඔයාගේ ඇස් දෙක මම හොයනවා.

සතුට දෝත දරාගත් ඒ සොඳුරු අතීතයට

සිත ඇදී ගියා එක නිමේෂයකට

නොසිතූ නොපැතූ විලසට එහිදී හමුවූ හිමිවූ මතක

අදටත් සිහිනයක් පමණක්ම විය

මිතුදමින් වෙළී අත්වැල් පටලාගෙන

එදා ඇවිද ගිය පටු මාවත් මග බලනවා ඇති තාම

විදුබිමේ ඉපැරණි පිය සටහන් අදටත් එලෙසින්මය

මිලාන වී ගිය හීන සරදම් කරනවා ඇත සැඟව

සරසවි වරම් ලබා යාමට පිය එසෙව්වද

සොයනවා තාමත් දෑසක් විදුබිමේ මතක අතර ...


ගායනා නිර්මාණි හේරත්.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

Comments

  1. දිගටම ලියන්න ❤️👍

    ReplyDelete
  2. මාරම ලස්සනයි ❤❤

    ReplyDelete
  3. අවුරුදු ගානක් ආපස්සට ඇදිලා ගියා 🥺 හරිම ලස්සනයි 💗

    ReplyDelete
    Replies
    1. අනේ ගොඩක් ස්තුතියි 🥺❤️

      Delete
  4. 🔥🔥🔥

    ReplyDelete
  5. Godak lassanai ♥️

    ReplyDelete
  6. ඒ වචන මාරම ලස්සනයි

    ReplyDelete
  7. හරිම ලස්සනයි❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අහිමි සිහිනය

අටවෙනි ස්වරය නුඹද?

මට අහිමි නුඹ නමට