එදත් හරි වැස්ස දවසක්




කාලෙකට පස්සෙ ආපහු වහින්න පටන් අරගෙන. ජනෙල් වීදුරුව අතරින් හිමිහිට ගලාගෙන යන වැහි බිංදු පොළව සිපගන්නා විදිහ මම හරි ආසාවෙන් බලන් හිටියා. කෝපි කෝප්පයක රස විඳින ගමන් මම මගේ දිනපොතේ පිටු එකින් එක හරි පරිස්සමට පෙරලුවා. මේ වැටෙන පොද වැස්ස මටත් නොදැනිම මාව අතීතයට අරන් ගියා. ඒ තමයි අපි අන්තිමට මුණගැහුණු දවස. අපිට අපිවම අත්හැරුණු මේ මිහිමත ගෙවුණු ඒ දුක්බරම නිමේෂය. ඇත්තමයි ඒ තත්පරේ මේ මුළු ලෝකෙම නතර වුණා වගේ මට දැනුණා. හැමතිස්සෙම මගෙත් එක්ක කතා කරපු ඔයා එදා වචනයක්වත් මාත් එක්ක කතා කරේ නෑ. සමහරවිට ඔයා හිතන්න ඇති අර නන්දා මාලනීය ගයන ගීතය වගේ

කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා 

මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා .... කියලා. 

ඇත්තමයි එදා ඒ දැනුණු හැඟීම වචන වලට පෙරළන්න ගොඩක් අමාරුයි. මං හොඳටම දැනගෙන හිටියා ආයෙ අපි කවදාවත්ම හමුවෙන්නේ නැහැ කියලා. මොකද ඔයාගේ ඔය රූපෙ ආයෙත් මගේ ඇස් ඉස්සරහට ආවොත් මට මාවම දරාගන්න බැරි වෙයි කියලා මගේ හිත තදින්ම මට කිව්වා. කොහොම හරි අපි දෙන්නා තෝරගත්තෙ පාරවල් දෙකක්. ඒ පාරවල් දෙක කවදාවත් එකිනෙක හමුවෙන්නෙ නෑ කියලා අපේ හිත් ගෙවෙන හැම තත්පරේම අපිට මතක් කළා. ඒත් අදටත් මං හිතනවා කොහේ හරි තැනක් ඇති මගහැරුණු පාරවල් දෙකක් එකිනෙක හමුවන. අවසානෙට අකමැත්තෙන් උනත් අපිට සිද්ධ වුණා අපේ ආදර කතාවට සදහටම සිත තියන්න. එකපාරටම මගේ අතට දැනුණු සීතලකින් මගේ මතක දැහැන බිඳුනා. මටත් නොදැනිම මගේ දෙනෙතින් ගලාගෙන ආපු කඳුළු බිඳුවක් දිනපොතේ පිටු අතරට වැටිලා. එතකොට තමයි මං හරියටම පියවි සිහියට ආවෙ. මං ඉක්මනට ඒ කඳුළු බිංදුව පිහලා දැම්මේ පොතේ පිටු දියවෙලා ඉරිලා යයි කියන බයට. මොකද මගේ ජීවිතයේ ලස්සනම මතක තාමත් ඒ පොතේ පිටු අතර හුස්ම ගන්නවා. ඉතින් අද වගේම එදත් හරි වැස්ස දවසක් නේද කියලා මට මතක් වුණා. සමහරවිට මේ වැටෙන පොද වැස්ස ඔයාටත් ඒ කතාව මතක් කරන්න ඇති. දෙවියනේ ඒ හැම මතකයක්ම මේ වැස්සට සේදිලා යනවානම් ... ජීවිතය කියන්නේ මේකට තමයි. අපි සිතන පතන හැම දෙයක්ම ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. ඒත් මං ඔයාගෙන් අවසාන පාරට පුංචි ඉල්ලීමක් කරන්නම්. ඔයා මගේ නොවුණත් මේ ලෝකෙ කොහේ හරි ඔයා සතුටින් ඉන්නවා කියලා මට දැනගන්න පුළුවන් විදිහේ පුංචිම හරි ඉඟියක් ඔයාට එවන්න පුළුවන්ද?

හීන් සීරුවේ ඇද හැලුණු වැහි බිදු

සිපගත්තා හරි ආදරෙන් මිහිකත

හිරිකඩ හීතල මැද්දෙන් මගේ සිත 

මා රැගෙන ගියා අතීතයට

දුටුවා පෙම්වතෙක් අවසන් වරට

සිය පෙම්වතියව මුණ ගැසෙන

මුවින් නොකී බොහෝ දේ ලියවී තිබුණා ඒ දෙනෙත් තුළ

නමුදු යා යුතුව තිබුණා දෙදෙනාට මාවත් දෙකක

කඳුලින් දෙනෙත් තෙත්වෙද්දී වැහි දිය යට

ලියවී තිබුණා ඔවුන්ගේ වෙන්වීම

එක්වරම දෙනෙතින් රූරා ආ කඳුළු බිඳුවක් 

තෙත් කළා මගේ මතක පොත

කඳුළු කැට අතරින්

එදත් හරි වැස්ස දවසක්

කියවුණා මට ඉබේටම

 

ගායනා නිර්මාණි හේරත්.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

Comments

Post a Comment

Popular posts from this blog

අහිමි සිහිනය

අටවෙනි ස්වරය නුඹද?

මට අහිමි නුඹ නමට