අහිමි සිහිනය



මට තාම මතකයි ඒ දවස. එදා අමුතු මන්දාරමකින් මුළු පරිසරයම වෙලාගෙන තිබ්බා. මගේ හොඳම යාළුවොත් එක්ක මම ගියපු ලස්සනම උත්සවය තමයි ඒක. බලන බලන හැම තැනකම පාට පාට බල්බ් වැල් එල්ලලා හරියට දිව්‍ය ලෝකයක් වගේ. මටත් නොදැනිම මගෙ හිතට මොකක්දෝ අමුතු හැඟීමක් දැනෙන්න පටන් අරගෙන තිබ්බා. මට හිතාගන්න බෑ ඒක කොහොම විස්තර කරන්නද කියලා. එදා මම ඇඳන් ගියෙ මම අලුතෙන්ම සාප්පුවෙන් ගත්ත අහස් නිල් පාට ගවුම. ඒකෙ ලස්සනට පාට පාට දියමන්ති හැඩයේ කැට අල්ලලා තිබුණා. කොහෙන්දෝ ළයාන්විත සංගීත රාවයකුත් ඇහුනා. එකපාරටම දැකපු දෙයකින් මගේ හිත ගැස්සිලා ගියා. ඒ තමයි මම මෙච්චර කාලෙකට දැක්ක වශීකෘතම ඇස් දෙක. කල්ප ගානක් මම මගේ කරගන්න හීන දැකපු ඇස් දෙක. ඒ කඩවසම් රුව මගේ ළඟටම ඇවිත් නතර වුණා. එයා මගේ අතින් අල්ලද්දි මට දැනුන ඒ හැඟීම වචනවලට පෙරළන විදිහක් මට තාමත් හිතාගන්න බෑ. ඊටපස්සේ මට ඇහුනේ මම මේ ලෝකේ එයාගෙන් අහන්න ආසම වචන ටික. ඇත්තමයි ඒ තත්පරේ මට මාවත් අමතක වුණා. මං හිතන්නේ මට පියවි සිහිය එන්න ටික වෙලාවක් ගියා. හරියට තප්පර කට්ට තුන් පාරක් විතර කැරකිලා එනවා වගේ. මට පියවි සිහිය එද්දි ඔහු හිටියේ මාව ඔහුගේ පපුවට තුරුල් කරගෙන. මමත් ඔහුගෙ පපුවෙ උණුසුම ළඟ ගල් ගැහිලා හිටියා. ඊට පස්සෙ මම ටිකෙන් ටික ඇස් ඇරියා. මගේ මුළු හදවතම කෑලි කෑලිවලට කැඩිලා විසිරිලා ගියෙ ඒ මොහොතෙමයි. අන්න එතකොට තමයි මම දැනගත්තේ ඒක හීනයක්ම විතරයි කියලා. ඔව් ඒක තමයි මම දැක්ක ලස්සනම සිහිනය. ඒ සිහිනය ඇත්තක් වුණානම් කොච්චර හොඳයිද කියලා මම වරු ගණන් කල්පනා කරන්න ඇති. මං ආසයි ආයෙත් ඒ හීනය දකින්න සිහිනෙන් නෙවෙයි සිහියෙන්. ඒ සිහිනය ඇත්තක් වෙන දවසක් එයි කියලා අදටත් මම බලන් ඉන්නවා.

දුටුවා නේක වර්ණ එළි බැලු බැලූ හැමතැනම
සිටියා මගේ මිතුරු මිතුරියන් මා සමීපයේම
ඇසුණා මියුරු ගී නද දසතින්ම
එක්වරම නෙත ගැටුණා සුපුරුදු රුවක් නොසිතූ නොපැතූ විලසින්ම
මගේ හදවත මොහොතකට නතරවුණා ඒ රුව අසළින්ම
සිනාසුණු ඒ දෑස් නොකී කතා බොහොමයක් රැගෙන පැමිණියා මා සමීපයටම
මෙතරම් මගේ සිත සසැලුණු දවසක් තිබුණාදැයි මා සෙව්වා මතක පොත සිසාරාම
කල්ප කාලයක් පුරාවට මා පෙරුම් පිරූ ඒ රුව වචනයකුදු නොවිමසාම
මගේ සුරත දරාගෙන බලාසිටියා මගේ දෙනෙත් දෙසම
මුවින් නොකී ප්‍රේමයේ ජයමංගල ගාථා ලියවී තිබුණා ඒ දෙනෙත් තුළ
ආදරයේ උණුසුම ළඟ දුක නොදැනෙන බව අසා තිබුණද
ඔබේ පපුවේ උණුසුම ළඟ මා ගල්ගැසී සිටියා කිසිවක් සිතාගනු නොහැකි ලෙසම
කෙසේනම් අකුරු කරන්නද මා ඒ මොහොත
එක නිමේෂයකට මුළු ලෝකයම දිනුවායැයි සිතුණා මගේ අසීමාන්තික ප්‍රේම හිතට
මෙතෙක් කාලයක් පුරාවටම මා පැතූ එකම ප්‍රේමය නුඹම විය
ඔබ ඇයි තවමත් තනිවම යැයි බොහෝ දෙනා ඇසූ ප්‍රශ්න හමුවේ මා නිරුත්තර වුවද එහි පැහැදිලි පිළිතුර නුඹම විය
දෑස් හැර බලනවිට දුටුවා නුඹ මා අසළකවත් නොවන බව
තවත් එක් උදෑසනක් මා හිමිහිට මිමුණුවා අරුණාලෝකයත් සමගම
එනමුත් පෙරදා රැයේ දුටු සිහිනය විලසින්ම අදත්,මතුවටත් මේ හදවතේ පූජාසනය නුඹේ නමටම පේවෙන වග කෙසේ නම් මා නොකියා ඉන්නද?


ගායනා නිර්මාණි හේරත්.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය


Comments

  1. niyamaiii😊❤️

    ReplyDelete
  2. Wow 🥺❤️

    ReplyDelete
  3. හරිම ලස්සනයි❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අටවෙනි ස්වරය නුඹද?

මට අහිමි නුඹ නමට